Dear Valued Customers, Online Orders Will Be Delivered Within 3-5 Working Days For Colombo District Based On The Product Availability. We Regret To Inform You That The Delivery For Other Areas May Vary Due To The travel restrictions imposed from the district to district.Thank you for your support.Stay Healthy & Safe...!

ඩිජිටල් උපාංගවලින් කෙටි කාලයකට ඈත්වී සිටිමු

Digital Detox යනු පුද්ගලයෙකු ස්මාර්ට් ෆෝන්, රූපවාහිනී, පරිගණක, ටැබ්ලට් වැනි තාක්ෂණික උපාංග භාවිතා කිරීම සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කිරීමෙන් වැළකී සිටින කාල පරිච්ඡේදයකි. ඩිජිටල් උපාංග වලින් “ඩෙටොක්සින් කිරීම” යනු අපගේ  අවධානය ඩිජිටල් උපාංග වෙත යොමු නොකර සමාජ අන්තර්ක්‍රියා කෙරෙහි අවධානය යොමු කිරීමේ ක්‍රමයක් ලෙස දැකිය හැකිය. ඩිජිටල් උපාංග භාවිතය වැළකීමෙන්, තාවකාලිකව හෝ ආතතියෙන් මිදීමට අපට හැකිය.

Digital Detox සඳහා හේතු

බොහෝ අයට, ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වී ඇලී-ගැලී සිටීම එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වී තිබේ. නීල්සන් සමාගමේ පර්යේෂණයන්ට අනුව, එක්සත් ජනපදයේ  සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට පැය 11 ක් පමණ මාධ්‍යයට සවන් දීම, නැරඹීම, කියවීම වැනි ක්‍රියාවන්හි නිරත වෙයි.

ඔබේ ජංගම දුරකථනය සහ වෙනත් උපාංග භාවිතය කෙටි කාලයක් සඳහා අතහැර දැමීම අවශ්‍ය වීමට බොහෝ හේතු තිබේ. ඔබගේ දුරකථනය සහ වෙනත් උපාංග විසින් නිර්මාණය කරන බාධාවලින් තොරව කාලය ගත කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. කෙසේ වෙනත්, ඔබගේ උපාංග භාවිතය අධික වී ඇති අවස්ථාවලදී එය ඔබේ ජීවිතයට අධික ආතතියක් එක් කරයි.

සමහරවිට, ඔබ ඔබගේ ඩිජිටල් උපාංගවලට ඇබ්බැහි වී ඇති බවක් ඔබට වැටහෙන්නට පුළුවනි. තාක්‍ෂණයට  ඇබ්බැහි වීම මානසික ආබාධයක් ලෙස තවමත් විධිමත් ලෙස හඳුනාගෙන නොමැති අතර, බොහෝ විශේෂඥයින් විශ්වාස කරන්නේ තාක්‍ෂණික උපාංග අධික ලෙස භාවිතා කිරීම ශාරීරික, මානසික සහ සමාජ ගැටලු සඳහා හේතු විය හැකි සැබෑ චර්යාත්මක ඇබ්බැහි වීමක් ලෙසයි.

පර්යේෂණ වලින් හෙළිවන තොරතුරු

තාක්ෂණය ආතතියට හේතුවක් විය හැකිය

තාක්ෂණික උපාංග නොමැති ජීවිතයක් ගැන සිතාගත නොහැකි යැයි බොහෝ විට මිනිසුන්ට හැඟෙන අතර, පර්යේෂණ සහ සමීක්ෂණ මගින් සොයාගෙන ඇත්තේ අධික තාක්‍ෂණික උපාංග භාවිතය මානසික ආතතියට ද හේතු විය හැකි බවයි.

ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගම්වල වාර්ෂික ආතතිය පිළිබඳ ඇමරිකා සමීක්ෂණයේදී එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් පහෙන් එකක් (18% ක් පමණ) තාක්‍ෂණික උපාංග  භාවිතය ඔවුන්ගේ ජීවිතයේ සැලකිය යුතු ආතතියක් ඇති කරන ප්‍රභවයක් ලෙස සඳහන් කර ඇත. බොහෝ දෙනෙකුට, මෙම තාක්ෂණික ආතතිය සඳහා හේතු වී තිබෙන්නේ ඊමේල්, කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය වල තිබෙන දෑ නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සඳහා නිතරම ඩිජිටල් සම්බන්ධතා වල රැඳී සිටීමට ඇති අවශ්‍යතාවයයි.

ස්වීඩනයේ පර්යේෂකයන් විසින් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ තරුණ වැඩිහිටියන් අතර අධික තාක්‍ෂණික භාවිතය නින්දේ ගැටලු, මානසික අවපීඩන රෝග ලක්ෂණ සහ ආතති මට්ටම ඉහළ යාම සමඟ සම්බන්ධ වී ඇති බවයි.

ඩිජිටල් උපාංග නින්දට බාධා කළ හැකිය

විශේෂයෙන් නින්දට පෙර අධික ඩිජිටල් උපකරණ භාවිතය නින්දේ ගුණාත්මක භාවයට හා ප්‍රමාණයට බාධාවක් විය හැකි බවටද සාක්ෂි තිබේ. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ නින්දට යාමේදී ඩිජිටල් උපාංග භාවිතා කරන දරුවන්ට සැලකිය යුතු මට්ටමකට නින්ද යාම අඩු බවයි. රාත්‍රී කාලයේ ඩිජිටල් උපාංග භාවිතය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) වැඩි වීම (ශාරීරික බර වැඩිවීම) අතර සම්බන්ධයක් ඇති බව මෙම අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත.

ඇඳේ සිටියදී සමාජ මාධ්‍ය භාවිතය නින්දට හා මනෝභාවයට අහිතකර ලෙස බලපාන බව පර්යේෂකයෝ සොයාගෙන ඇත. සමීක්ෂණය සඳහා සහභාගී වූවන්ගෙන් 70% ක් ඇඳේ සිටියදී ඔවුන්ගේ දුරකථනවලින් සමාජ මාධ්‍ය පරීක්ෂා කර ඇති අතර 15% ක් ඇඳේ සිටියදී සමාජ මාධ්‍ය සඳහා පැයක් හෝ ඊට වැඩි කාලයක් ගත කර තිබේ. ප්‍රතිඵල වලින් පෙනී ගියේ ඔබ රාත්‍රියේ ඇඳේ සිටින විට සමාජ මාධ්‍ය භාවිතා කිරීමෙන් කාංසාව (anxiety), නින්ද නොයාම (insomnia) සහ කෙටි නින්දේ කාලය (shorter sleep duration) වැඩි වන බවයි.

ජංගම දුරකථනය ඔබේ මොළයට බලපාන ආකාරය

අධික ඩිජිටල් උපාංග භාවිතය මානසික සෞඛ්‍ය ගැටළු සමඟ සම්බන්ධ විය හැකිය

ළමා සංවර්ධන සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ තාක්‍ෂණය දිනපතා භාවිතා කිරීම නව යොවුන් වියේ දරුවන් අතර මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වී ඇති බවයි. ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරමින් වැඩි කාලයක් ගත කිරීම Attention-deficit/hyperactivity disorder සහ චර්යාත්මක ගැටළු (conduct disorder) මෙන්ම දුර්වල ස්වයං-විනය (self-regulation) වැනි රෝග ලක්ෂණ සමඟ සම්බන්ධ වේ.

නිරන්තර අන්තර්ජාල සම්බන්ධතා වැඩ-ජීවිත (Work/Life Balance) සමතුලිතතාවයට බලපායි

ඔබ නිවසේ හෝ නිවාඩුවක් ගතකරන විටදී පවා, ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය පරීක්ෂා කිරීම, සගයකුගේ කෙටි පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම හෝ ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීම වැනි දේවලට පෙළඹිය හැකිය. Digital Detox කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න, අඩු ආතතියෙන් යුත් වැඩ-ජීවිත සමතුලිතතාවයක් ඇති කළ හැකිය.

සමාජ සංසන්දනය සෑහීමකට පත්වීම දුෂ්කර කරයි

ඔබ සමාජ මාධ්‍යවල කාලය ගත කරන්නේ නම්, ඔබේ ජීවිතය මිතුරන්, පවුලේ අය, ආගන්තුකයන් හා ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ සැසඳෙන බව ඔබට පෙනී යනු ඇත. අන් අයගේ instragram හෝ Facebook පෝස්ට් මත පදනම්ව ඔබ හැර අනෙක් සියලුදෙනාම ධනවත් හෝ ආකර්ශනීය ජීවිතයක් ගත කරන බව, ඔබට හැඟෙනු ඇත. ඔබ, ඔබේ ජීවිතය අන් අය සමඟ සංසන්දනය නොකර ඔබේම ජීවිතයේ වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට හොඳම ක්‍රමය නම් ඔබේ අන්තර්ජාල සම්බන්ධතා අත්හැරීමයි.

ඔබ ඔන්ලයින් නොසිටියොත් අන් අය ඔබව අත්හැර දමනු ඇතැයි හෝ ඔබව අනෙක් අයට මඟහැරෙනු ඇතැයි සිතීම

(FOMO) -Fear of missing out, නිරන්තරයෙන්ම ඔන්ලයින් සිටින අයට මෙම බිය දැනෙයි. අන් අය සාමාජ මාධ්‍ය වලට දමන ආකර්ශණීය පෝස්ට්, කෙටි පණිවිඩ, චැට් කිරීම සඳහා ලැබෙන ඇරයුම් මඟහැරෙනු ඇතැයි යන බිය නිසා ඔබ නිතරම නොදැනුවත්වම ඔබෙගේ දුරකථනය පරීක්ෂා කිරීමට පෙළඹේ. 

පහත සඳහන් ලක්ෂණ ඇත්නම් ඔබට Digital Detox අවශ්‍ය විය හැකිය 

  • ඔබගේ දුරකථනය සොයාගත නොහැකි අවස්ථාවල ඔබට කනස්සල්ලක් හෝ ආතතියක් දැනිය හැකිය
  • සෑම මිනිත්තු කිහිපයකට වරක් ඔබගේ දුරකථනය පරීක්ෂා කිරීමට ඔබට සිතෙයි 
  • සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් පසු ඔබට මානසික අවපීඩනයක්, කනස්සල්ලක් හෝ කෝපයක් දැනිය හැකිය
  • ඔබ විසින් සමාජ මාධ්‍ය වලට දමා ඇති පෝස්ට් වලට අන් අයගේ ප්‍රතිචාර ගැන ඔබ නිතරම විමසිල්ලෙන් සිටී  
  • ඔබ නිතරම ඔන්ලයින් නැත්නම් ඔබට යමක් මග හැරෙනු ඇතැයි ඔබ බිය වේ
  • ඔබ බොහෝ රාත්‍රී වනතුර ඔන්ලයින් රැඳී සිටීම හෝ ඔබ ඔන්ලයින් යාමට වේලාසනින් අවදි වීම  
  • ඔබගේ දුරකථනය පරික්ෂා නොකර එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ ගැටලුවක් ඔබට ඇත

Digital Detox කරන්නේ කෙසේද?

  1. ඔබ ඩිජිටල් උපකරණවල වහලෙකු නොවී අවශ්‍ය අවස්ථාවල දී අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඒවා භාවිතා කරන බවට අධිෂ්ඨාන කරගන්න   
  2. දුරකථනයේ notification off කරන්න 
  3. දුරකථනයේ තිරය කලු සුදු කරන්න. එවිට ඔබට වෛයිවර්ණ පෝස්ට් බැලීමට තිබෙන පෙළඹීම අඩු වේ 
  4. ඔබේ නිදන කාමරය ඩිජිටල් උපාංග වලින් නිදහස් කලාපයක් බවට පත් කරගන්න   
  5. වරකට එක තිරයක් දෙස පමණක් බලන්න. (දුරකථන, ටීවී, ලැප්ටොප්)  
  6. අත්‍යවශ්‍ය ඇප් පමණක් පාවිච්චි කරන්න 
  7. සමාජ මාධ්‍ය ඇප් දුරකථනයෙන් ඉවත් කරන්න. එවිට ඒවා නිතර බැලීමට ඇතිවන පෙළඹවීම අඩුවේ 
  8. ඔන්ලයින් යාමට සිතෙන අවස්ථාවල, ඇවිදීමට යාම, පොතක් කියවීම, සංගීතයට සවන්දීම, ගෙවතු වගාව වැනි දෙයක් කරන්න 
  9. සතියකට වතාවක් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් නොයන හා ඩිජිටල් උපාංග භාවිතා නොකරන දිනයක් වෙන් කරගන්න 
  10. ඔබ Digital Detox කරන බව පවුලේ අයට හා මිතුරන්ට දන්වා, එයට ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය බව කියන්න 

මූලාශ්‍රය:- https://www.verywellmind.com/why-and-how-to-do-a-digital-detox-4771321

Distributors

Online Shopping Partners