ලොවපුරා දීර්ඝායුෂ විඳින්නන්ගේ රහස් හෙළි වේ

ලොවපුරා කුඩා නගර අතලොස්සක වැසියන් වසර සියයකට වඩා ජීවත්වීමේ රහස් ඔබට දීර්ඝායුෂ ලබාගැනීමට උපකාර කරගන්නේ කෙසේද?

එයින් එකක් නිවර්තන වනාන්තරවලින් වට වූ නගරයක් වන අතර මුහුදු වෙරළේ සර්ෆින් ක්‍රීඩාව කරන්නන් අතර ජනප්‍රියයි. අනෙක් දෙක මධ්‍යධරණී මුහුදේ කැස්බෑ දූපත් වේ. සිවුවැන්න ජපන් දූපත් සමූහයේ කෙලවරේම පිහිටා ඇති අවසාන දූපතයි. අනෙක කැලිෆෝනියාවේ “ලස්සන කන්ද” යන අරුත ඇති කුඩා නගරයකි.

බැලූ බැල්මට මෙම ස්ථාන පහ සම්බන්ධ කිරීමට සමාන කරුණු නැත. කොස්ටාරිකාවේ නිකෝයා, ඉතාලියේ සාඩීනියා, ග්‍රීසියේ ඉකරියා, ජපානයේ ඔකිනාවා සහ කැලිෆෝනියාවේ ලෝමා ලින්ඩා යන ඒවා ලෝකයේ විවිධ කෙලවරවල් වල විසිරී ඇති අතර ඊට වඩා වෙනසක් නොපෙනේ.

නමුත් මේවා දීර්ඝ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කැමති ඕනෑම කෙනෙකුට උපත ලැබීමට සුදුසුම ස්ථාන පහ විය හැකිය. ඒවා “නිල් කලාප” යනුවෙන් හඳුන්වන වන අතර, එහි මිනිසුන්ගේ වයස අවුරුදු 100 දක්වා ජීවත් වීමේ අවස්ථාව එක්සත් ජනපදයේ සාමාන්‍යයට වඩා දස ගුණයකින් වැඩිය.

නිල් කලාප

නිල් කලාපය (Blue Zone) යන වචනය මුලින්ම භාවිතා කිරීම ආරම්භ වූයේ සාඩීනියාවේ මරණ අනුපාතය පිළිබඳව විමර්ශනය කරමින් සිටි ඉතාලි වසංගත රෝග විද්‍යාඥ ගියන්නි පෙස් සහ බෙල්ජියම් ජන විකාශන විද්‍යාඥයකු වන මයිකල් පූලේන් විසිනි. 2000 දශකයේ මුල් භාගයේ දී ඉහළ ආයුෂ සහිත ප්‍රදේශ ලෝක සිතියමේ නිල් පැහැයෙන් සලකුණු කරමින්, ඉහළ ආයු අපේක්ෂාවන්ගෙන් යුත් ප්‍රදේශ කිහිපයක් ලොවපුරා විවිධ ස්ථානවල පවතින බව ඔවුන් හඳුනාගත්හ.

ඊළඟ වසර 12 තුළ, බොහෝ විද්‍යාඥයන් නිල් කලාප පිළිබඳ සිය පර්යේෂණ දිගටම කරගෙන ගොස් ඇති අතර, මෙම කලාපවල මිනිසුන් දීර්ඝායුෂ විඳීම පැහැදිලි කළ හැකිවන උපකල්පන රාශියක් පිළිබඳව අවධානය යොමු කර ඇත.

ආහාර සීමා කිරීම

මෙම නිල් කලාපවල මිනිසුන්ගේ ජීවන රටාවල පොදු ලක්ෂණ හඳුනා ගනිමු. පළමුවැන්න ආහාර වේ. විශේෂයෙන් අතීතයේ දී,නිල් කලාපවල බොහෝ අය මධ්‍යස්ථව ආහාර ගැනීමට නැඹුරු වූහ. නිදසුනක් වශයෙන්,ජපානයේ ඔකිනාවාහි වැඩිහිටි පුද්ගලයින් “හරා හචි බු” හි පුරාණ නීතිය අනුගමනය කරයි.එය කුස 80% ක් පිරෙන තුරු ආහාර ගැනීමයි (විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව,එය සාමාන්‍ය වැඩිහිටියෙකුගේ වර්තමාන කැලරි අවශ්‍යතා නිර්දේශයන්ට වඩා 10% ක් පමණ අඩු අගයකි). මෙමගින් වයසට යාම මන්දගාමී වන බව පෙනේ.

විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ පරිවෘත්තීය හා වයස්ගතවීම පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥ රොසලින් ඇන්ඩර්සන් විසින් කරන ලද දිගුකාලීන සත්ව අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, සමාන ප්‍රමාණයන්ගෙන් යුත් “සීමිත කැලරි” ආහාර අනුභව කල මැකාසස් වඳුරන් තුළ පිළිකා,දියවැඩියාව සහ හෘද රෝග වැනි වයස්ගතවීමේ දී සෑදෙන රෝග සඳහා සැලකිය යුතු ලෙස අඩු අවදානමක් ඇති බවයි. ඔවුන්ට තරුණ පෙනුමක් පවා ඇත(උදාහරණයක් ලෙස මැකාසස් වඳුරන්ගේ ලොම් අළු පැහැයට හැරීමට වැඩි කාලයක් ගත වීම).

කැලරි සීමා කිරීම නිසා අපගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ දී, අපගේ සෛල වලට හානි කළ හැකි, විෂ සහිත ෆී රැඩිකල් (free radicals) නිපදවීම අඩු වන බවක් පෙනෙන්නට තිබුණද,මෙම ක්‍රියාවලිය පිටුපස ඇති සම්පූර්ණ යාන්ත්‍රණය අප තවමත් තේරුම් ගෙන නොමැත. හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥ ගෝවින්දරාජු පවසන පරිදි මේ නිසා පිළිකා වැනි රෝග වලට හේතු විය හැකි, අපගේ DNA තුළ හානිකර විකෘති ඇතිවීමේ අවදානම අඩු කරයි. “කැලරි සීමා කිරීම” DNA හානිය අවම කරන අතර DNA අළුත්වැඩියා කිරීම වැඩි දියුණු කරයි. “ජානමය අඛණ්ඩතාව ද (genome integrity) දීර්ඝායුෂ විඳින්නන් අතර කැපී පෙනෙන ලක්ෂණයකි.” මීට අමතරව නිල් කලාපවල ආහාර බොහෝ දුරට ශාක පදනම් කරගත් ඒවා වන අතර ඒවාද හෘද සෞඛ්‍යයට දායක වේ.

 

යහපත් සමාජ සම්බන්ධතා

ඔවුන්ගේ ආහාර පුරුදු වලට අමතරව, දීර්ඝායුෂ විඳින්නන් භුක්ති විඳින සමාජ ජීවිතද සමාන වැදගත්කමක් දරයි. නිල් කලාපවල ජනතාව ඉහළ ඒකාබද්ධ ප්‍රජාවන්හි ජීවත් වීමට නැඹුරු වී සිටිති. සමාජශීලී වීම ආතතියේ බලපෑම් අවම කිරීමට උපකාරී වන බව දැන් පිළිගෙන ඇති අතර යහපත් මිත්‍ර සබඳතා පවත්වාගෙන යාමෙන් සමස්ත මානසික හා ශාරීරික සෞඛ්‍ය ඉහළ නැංවෙයි. එක් විශ්ලේෂණයක දී බ්‍රිජ්හැම් යන්ග් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥයකු වන ජූලියන් හෝල්ට්-ලන්ස්ටාඩ් අපගේ සමාජ සම්බන්ධතාවල ගුණාත්මකභාවය අපගේ සෞඛ්‍යය ව්‍යායාම් සහ ආහාර වේල තරම්ම වැදගත් වන බව සොයාගෙන තිබේ.

 

ආගම දහමට නැඹුරුවීම

ආගම නිල් කලාපවල සමාජ ජීවිතවල එක් වැදගත් ප්‍රභවයක් බව පෙන්නුම් කරයි. ඇමරිකානු ජීවන රටා වෛද්‍ය සඟරාව (Journal of Lifestyle Medicine) සඳහා ලිපියක් ලියමින් බියුට්නර් තමා සම්මුඛ සාකච්ඡා කළ නිල් කලාප දීර්ඝායුෂ විඳින්නන් 263 න් 5 දෙනෙකු හැර අන් සියල්ලන්ම යම් ආකාරයක අධ්‍යාත්මික ප්‍රජාවක කොටසක් වූ බව විස්තර කළේය.

ආගමික ප්‍රජාව තුළින් ඇතිවන සමාජ සම්බන්ධතාවලට අමතරව, ආගමික වත්පිළිවෙත් ද ජීවිතයට අරමුණක් පිළිබඳ හැඟීමක් ලබා දෙන අතර, අසහනටය පත් වන විට අස්වැසිල්ලක් ලබා දෙයි. මෙය ඇදහිලිවන්තයන්ගේ ආයු අපේක්ෂාවට වසර 1 සිට 5 ප්‍රමාණයක් එකතු කරනු ඇතැයි සිතනු ලැබේ.

අනාගමිකයිනට එය නරක ආරංචියක් විය හැකි නමුත් ආගමික විශ්වාසයක් නැති අයටද එම ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වෙනත් ක්‍රම තිබේ. සමහර නගරවල දැනටමත් ලෞකික එක්රැස්වීම් ඇති අතර,ඒ තුළින් සමාන අදහස් ඇති පුද්ගලයින් එකට එක් වී වැඩ කිරීම,භාවනා කිරීම සහ සමාජ සහයෝගීතාව තුළින් මානසික සෞඛ්‍ය වැඩි දියුණු කළ හැකිය.

 

තේ සහ කෝපි

නිල් කලාප අතර ඇති මෙම පුළුල් සමානකම් වලින් ඔබ්බට, ඔවුන් ගෙන් සමහරුන් අතර ඇති අපූරු සිරිත් දීර්ඝායුෂ ලැබීමට දායක වී ඇතිබව අපට වටහා ගත හැකිය. නිදසුනක් වශයෙන් ග්‍රීක දූපතක් වන ඉකරියා හි ජනතාව දිනකට තේ සහ කෝපි කෝප්ප කිහිපයක් පානය කරන බව දන්නා අතර මෙය එම කලාපයේ හෘද රෝග අඩු වීම සමඟ සම්බන්ධ වී ඇති බව පෙනෙයි. බොහෝ රෝග වලට හේතුවන ෆී රැඩිකල් (free radicals) සෑදීම වැළැක්වීමට ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන මැග්නීසියම්, පොටෑසියම්, විටමින් B2 සහ විටමින් E වැනි ක්ෂුද්‍ර පෝෂක බොහෝමයක් තේ සහ කෝපි වල අඩංගු වීමයි.

ග්‍රීක් කෝපි සිරුරේ ප්‍රදාහයන් (inflammation) අඩු කරන පොලිපෙනෝල් (polyphenols) නිකුත් කරන බැවින් එය ශරීරයට විශේෂයෙන් හොඳ යැයි සැලකේ. හෘදයාබාධ හා ආඝාත වලට තුඩු දෙන ධමනි තුළ මේදය තැන්පත්වීම වැනි වයසට සම්බන්ධ රෝග රැසකට ප්‍රදාහයන් දායක වේ.එබැවින් ප්‍රති-ප්‍රාදාහ ගුණාංග වලින් පොහොසත් පොලිපෙනෝල් අඩංගු තේ හා කෝපි නිතිපතා පානය කිරීමෙන් එම හානිය අවම කර ගත හැකිය.

මෙම පාන වර්ග දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු වීම සමඟ ද සම්බන්ධ වේ. ප්‍රති-ප්‍රදාහ සහ ප්‍රතිඔක්සිකාරක (anti-inflammatory and antioxidant) ගුණ ඇති සංයෝග අපගේ සෛලවල ශක්ති පරිභෝජන මට්ටම ඉහළ යාම නියාමනය කිරීමෙන් සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය වර්ධනය වීම වළක්වා ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරන බව පෙනේ.

කැෆේන් සහිත බීම දීර්ඝායුෂ සහතික කරන ප්‍රභවයක් නොවේ. නමුත් මධ්‍යස්ථ,අඩු කැලරි සහිත ආහාර වේලක් සමඟ සංයෝජනය කිරීමෙන් ඒවාට දිගු සෞඛ්‍ය සම්පන්න පැවැත්මකට දායක විය හැකිය. ඔකිනාවා සහ සාඩීනියාවේ ආහාර මෙන්, ඉකරියා හි ආහාර වේල් වල මස් හා මාලු අඩු වන අතර නැවුම් පළතුරු හා එළවළු අධිකය.

 

බතල සහ කරවිල

ඒ හා සමානව, ඔකිනාවා පදිංචිකරුවන් අතර ප්‍රචලිත ආහාර වර්ග දෙකක් කෙරෙහි විශාල උනන්දුවක් ජනනය වී ඇත. ඒ බතල සහ කරවිලයි. ඒවායේ ජීවිත කාලය දීර්ඝ කරන ගුණාංග අඩංගුව තිබිය හැකිය.

ජපානයේ බොහෝ දෙනාගේ ප්‍රධානතම කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය සහල් වන අතර, බතල ඔකිනාවා දූපතට 1600 ගණන් වලදී ප්‍රථම වරට හඳුන්වා දුන් දින සිට බොහෝ කලක් තිස්සේ බහුලව දක්නට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය වේ. සුදු පාන් වැනි ආහාර මෙන් නොව, එහි අඩු ග්ලයිසමික් (glycaemic index)​​දර්ශකයක් ඇත. එයින් අදහස් කරන්නේ එහි ශක්තිය සෙමෙන් රුධිරයට මුදා හරින බවයි. විටමින් A, C සහ E වැනි ප්‍රතිඔක්සිකාරක (antioxidants) ගුණාංග සහිත පෝෂ්‍ය පදාර්ථ මගින් හානිකර ෆී රැඩිකල් (free radicals) සෛලවලින් ඉවත් කළ හැකි අතර ප්‍රදාහයන්ද (inflammation)අඩු කරයි.

බතලවල අන්තර්ගත පොටෑසියම් රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වන අතර එහි තන්තුද අධිකය. තන්තු, බඩවැල් තුළ සිටින අපට හිතකර ක්ෂුද්‍ර ජීවීන් (gut microbiome) සඳහා අත්‍යවශ්‍ය වේ. එමෙන්ම කොලෙස්ටරෝල් හා සංතෘප්ත මේදය අඩු බැවින්, මේ සියල්ලම නිදන්ගත රෝග අවදානම අඩු කිරීමට දායක වේ. කරවිල කටුක රසයක් ඇති විවිධ ආහාර වර්ග සඳහා භාවිතා වන සලාද, ටෙම්පුරා සහ යුෂ බීම දක්වා භාවිතා වේ. ඉකරියා හි වැසියන් ග්‍රීක් කෝපි පානය කළ ආකාරයටම, ඔකිනාවාවල දී කරවිලවල රුධිරයේ සීනි මට්ටම වැඩිවීම හා පරිවෘත්තීය ස්ථායී කළ හැකි සංයෝග අඩංගු වන අතර ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානමද අඩු කරයි.

සුන්දර භූමි දර්ශන

තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන නමුත් කලින් කී කරුණුවලට සමානවම, මෙම ජනයා ජීවත්වන ස්ථාන වලින්ම ඔවුන්ගේ සුවිශේෂී දීර්ඝායුෂ විඳීම පිළිබඳව යම් හෝඩුවාවක් ලබා ගත හැකිය.

නිදසුනක් වශයෙන්, සාඩීනියානු නිල් කලාපය පිහිටා ඇත්තේ දිවයිනේ ඇදහිය නොහැකි තරම් සුන්දර කඳුකර ප්‍රදේශ වලය. බොහෝ විට එය නිල් වන උයන ලෙස හැඳින්වේ. සාඩීනියාවේ වෙසෙන දීර්ඝායුෂ විඳින්නන්ගෙන් බහුතරයක් ගොවිපල කම්කරුවන් වූ අතර, පෙස් සහ පූලයින් යන විද්‍යාඥයන් දෙදෙනාම අනුමාන කළේ, බෑවුම් සහිත භූමිය නිසා ඔවුන්ගේ එදිනෙදා ජීවිතවල ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වූ බවයි. ඔවුන් ස්වාභාවික භූ දර්ශනයට හා සාම්ප්‍රදායික ජීවන රටාවලට ස්තූතිවන්තවන දිරිය මිනිසුන් වේ.

ග්‍රීසියේ ඉකරියා හි නිල් කලාපය තුළ අඩු නමුත් සැලකිය යුතු මට්ටමේ විකිරණශීලීතාවයක් තිබීම කුතුහලයට පත් කර තිබේ. දූපත මූලිකවම භූගෝලීය වශයෙන් එකිනෙකට වෙනස් කලාප දෙකකට බෙදී ඇත: නැගෙනහිර, අවසාදිත ලෝහමය පාෂාණයකින් සෑදී ඇති අතර කළුගල් ස්ථරයක් මත පිහිටා ඇත. බටහිර ප්‍රදේශයෙහි විකිරණශීලී මූලද්‍රව්‍යක් වන රේඩෝන්, දිය උල්පත් වලට කාන්දු වේ.

පුදුමයට කරුණක් නම්, විකිරණශීලී කලාපවල දීර්ඝායුෂ විඳින්නන්ගේ සංඛ්‍යාව, ඉහළම මට්ටමක පවතින අතර නැගෙනහිර ජනයාගේ ආයු කාලය තරමක් අඩුය (දිවයිනේ බටහිර දෙසින් පිහිටි එම දිය උල්පත් ප්‍රදේශවාසීන් විසින් “අමරණීය ජලය” නිපදවන උල්පත් බව කියනු ලැබේ). ඉතා අඩු විකිරණ මාත්‍රාවක් මගින් සිරුර තුල ප්‍රති-ප්‍රාදාහයන් (anti-inflammatory) ඇතිකරවන ප්‍රතිචාරයක් සහ DNA අළුත්වැඩියාවක් ඇති කළ හැකි බව සත්ව අධ්‍යයන කිහිපයකින් සොයාගෙන ඇත. සමහර විට කැලරි සීමා කිරීමේ තත්වය තුල සෛල තුළ ආරක්ෂිත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට පුළුවනි.

පැහැදිලිවම නිල් කලාපවල සුවිශේෂී දීර්ඝායුෂ විඳීම, එක සුවිශේෂී කරුණකට පමණක් සීමා කළ නොහැක. එය බොහෝ සාධකවල එකතුවකි. ඒවායින් සමහරක් කලාප අතර ව්‍යාප්ත වී ඇති අතර සමහර ඒවා එක් එක් ස්ථානයට සුවිශේෂී වේ. මෙම පර්යේෂණ ආශ්චර්යමත් වයස්ගත වීම පමා කරවන සුපිරි ආහාර සොයා ගැනීම තරම්ම සිත් ඇදගන්නා සුළු නොවිය හැකි වුවත්, මෙම සොයාගැනීම් වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ දේ තිබේ.

පළතුරු හා එළවළු බහුල ලෙස ආහාරට ගැනීම, අවශ්‍යය තරම් ව්‍යායාම් කිරීම, කෝපි සහ තේ පානය කිරීම සහ අධ්‍යාත්මික සුවය, සමාජශීලීවීම වැනි දෑ අපගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි දේවල් වේ.

මූලාශ්‍රය: https://www.bbc.com/future/article/20200512-the-ingredients-that-hold-the-secret-to-a-long-lifec

Distributors

Online Shopping Partners

Whatsapp

Hide