ඔබත් අසාර්ථක වේයැයි බියෙන් පීඩා විඳිනවාද?

අසාර්ථක වීමේ බිය යනු  කෙනෙකු තුළ තමන් අසාර්ථක වේ යැයි දිගින් දිගටම පවත්නා අනියත බියකි. සමහර විට මෙම භීතිය නිශ්චිත තත්වයකට ප්‍රතිචාර වශයෙන් මතු විය හැකිය. නැතහොත්, එය කාංසාව හෝ මානසික අවපීඩනය වැනි වෙනත් මානසික සෞඛ්‍යය තත්වයක් සමඟ සම්බන්ධ විය හැකිය.

එමෙන්ම අසාර්ථක වීමේ බිය පරිපූර්ණවාදියෙකු (perfectionist) වීම හා සම්බන්ධ විය හැකිය. පරිපූර්ණවාදීන්ට යම් යම් දේ සිදුවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ආකාරය පිළිබඳව ඉතා ඉහළ අපේක්ෂාවන් ඇති බැවින්, ඔවුන් බොහෝ විට යථාර්ථවාදී නොවන උසස් ප්‍රමිතීන්ට අනුකූලව තමන් ජීවත් නොවනු ඇතැයි යන අනියත බියකින් පෙළෙනවා විය හැකිය.

භීතියේ පොදු රෝග ලක්ෂණ

අසාර්ථක වීමේ බිය නිසා චිත්තවේගීය හා චර්යාත්මක රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. මෙම භීතියේ පොදු ලක්ෂණ සමහරක් නම්

  • කාංසාව
  • අන් අය සහ අවස්ථා මගහැරීම
  • ස්වයංපාලනයක් නැති බව දැනීම
  • අසරණකම
  • තමන් බල රහිත අයෙකු බව සිතීම

චිත්තවේගීය සහ චර්යාත්මක රෝග ලක්ෂණ වලට අමතරව, අසාර්ථක වීමේ බිය ඇති පුද්ගලයින්ට වේගවත් හෘද, ස්පන්දනය, පපුවේ තද ගතිය, වෙව්ලීම, කරකැවිල්ල, දහඩිය දැමීම සහ ආහාර ජීර්ණ ගැටළු ඇතුළු ශාරීරික රෝග ලක්ෂණ අත්විදීමට සිදුවිය හැකිය.

ඔබ තුළ අසාර්ථක වීමේ භීතිය ඇති දැයි හඳුනා ගැනීම 

අසාර්ථක වීමේ බිය මිනිසුන්ට විවිධ ආකාරවලින් බලපෑ හැකිය. එයින් අදහස් කරන්නේ එය හඳුනා ගැනීම සෑමවිටම පහසු නොවන බවයි. අසාර්ථක වීමේ බිය මිනිස්සුන්ට අත්විඳිය හැකි සමහර ආකාර වන්නේ,

  • යමක් සාක්ෂාත් කර ගැනීමට ඔබට කුසලතා හෝ දැනුමක් නොමැති බව විශ්වාස කිරීම
  • ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට නොහැකි වනු ඇතැයි හැඟීම
  • කාර්යක්ෂමතාවයට හෝ නියමිත වේලාවට වැඩ අවසන් කිරීමට ඇති හැකියාවට බලපාන තරමට වැඩ කල් දැමීම
  • ඔබ අසාර්ථක වනු ඇති බව අන් අය ඔබට පැවසීම නිසා ඔබේ අපේක්ෂාවන් අඩු මට්ටමක පැවතීම
  • මානසිකව වැටීම වළක්වා ගැනීම සඳහා ඔබට ඇති හැකියාවන් අවතක්සේරු කිරීම
  • අසම්පූර්ණකම් හෝ අඩුපාඩු නිසා අන් අය ඔබ ගැන සැහැල්ලුවෙන් සිතනු ඇතැයි කනස්සල්ලට පත් වීම
  • ඔබ අසමත් වුවහොත් අන් අය ඔබ ගැන කලකිරෙනු ඇතැයි සිතා කනස්සල්ලට පත්වීම

සමහර අවස්ථාවලදී, අසාර්ථක වීමේ බිය නිසා මිනිසුන් සම්පූර්ණයෙන්ම උත්සාහ කිරීමෙන් වැළකී සිටිය හැක. උත්සාහ කර සාර්ථක නොවනු ඇතැයි ඔවුන් තුළ ඇති බිය නිසා, මුහුණදීමට සිදුවිය හැකි වේදනාව, ලැජ්ජාව හෝ බලාපොරොත්තු කඩවීම වැළැක්වීම සඳහා ඔවුන් කිසිසේත් උත්සාහ නොකර සිටීමට තීරණය කරයි.

අසාර්ථක වීමේ බිය ඇතිවීමට හේතු

විවේචනාත්මක පරිසරයක හැදී වැඩීම: ඉතා විවේචනාත්මක හෝ සහයෝගය නොදක්වන පවුල්වල හැදී වැඩෙන  ළමයින් අසාර්ථක වීමේ බිය අත්විඳීමට ඉඩ ඇත. ළමා කාලය තුළ තම පවුලේ අපේක්ෂාවන්ට අනුව කිසිදාක ජීවත් විය නොහැකි බව ඔවුන්ට හැඟුණු නිසා, ඔවුන් වැඩිහිටියන් බවට පත්වූ පසු අතපසුවීම් වලට බිය විය හැකිය.

අසාර්ථකත්වය පිළිබඳ වැරදි අර්ථකථන: අසාර්ථකත්වය කුමක්ද යන්න පිළිබඳව මිනිසුන්ට විවිධ අර්ථකථනයන්  ඇත. සමහර අය, සිතන්නේ ඔවුන් අපේක්ෂා කළ පරිදි යමක් ඉටුකර ගැනීමට නොහැකිවීම බවයි. මෙමගින් ඉටු කරගැනීමට ඉතා අපහසු බලාපොරොත්තු සමුදායක් සමඟ ජීවත් වීමට සිදුවිය හැකිය.

කම්පනය (Trauma): දුෂ්කර හෝ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දුන් පුද්ගලයින් අනාගතයේදී එම අත්දැකීම් වලට නැවත මුහුණදීමට බිය විය හැකිය. උදාහරණයක් ලෙස පිරිසක් ඉදිරියේ යමක් ඉදිරිපත් කරන අතරතුර භීතියට පත් වීම හෝ ඔබේ ඉදිරිපත් කිරීම සමච්චලයට ලක්වීම වැනි දේවල්. එමෙන්ම රැකියාව අහිමිවීම හෝ උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යාපනික ආයතනයකට ඇතුළත් වීමට නොහැකිවීම වැනි ඍණාත්මක ප්‍රතිඵලද  අසාර්ථක වීමේ බිය දිගින් දිගටම පැවතීමට සාධක විය හැකිය.

අසාර්ථක වීම නැමැති  භීතිය නිසා ඇතිවන බලපෑම

අඩු ආත්ම අභිමානය: අසාර්ථකත්වයට බිය වන පුද්ගලයින්ට නිෂේධාත්මක ස්වයං-කතාවල (negative self-talk) නියැලීමට හෝ ඉලක්ක කරා යන ගමන දුෂ්කර වන අඩු ආත්ම විශ්වාසයක් (self-confidence) තිබිය හැකිය.

දුර්වල අභිප්‍රේරණය (motivation): මිනිසුන් අසාර්ථක වේ යැයි බියෙන් සිටින විට, නව ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ ඉලක්ක කරා යාමට අපහසු වන අන්දමේ අභිප්‍රේරණ ඌණතාවයක් ඔවුන් තුළ ඇතිවිය හැකිය. යම් දෙයක් ඉතා අභියෝගාත්මක බවක් පෙනෙන විට හෝ ඒ සඳහා නව නිපුණතා ඉගෙනීමට සිදු වූ විට, මිනිසුන් සරලවම එය අත්හැරීමට හෝ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.

ස්වයං කඩාකප්පල් කිරීම (Self-sabotage): අසාර්ථක වේ යැයි බියෙන් සිටින පුද්ගලයින් තමන්ගේම සාර්ථකත්වයට තිබෙන අවස්ථාවන් තමන් විසින්ම වළක්වන ක්‍රියාවන්හි යෙදීම සමහරවිට සිදුවේ. නිදසුනක් වශයෙන්, අසමත් වේ යැයි බියෙන් සිටින සිසුන් බොහෝ විට තම අධ්‍යාපනික සාර්ථකත්වය සීමා කරන සහ අසාර්ථකත්වය සදාකාලික කරන ස්වයං-අබාධිත (self-handicapping) හැසිරීම් වල නිරත වන බව පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇත.

ලැජ්ජාව: අසාර්ථක වීමේ බිය බොහෝ විට ඔබට අත්විදීමට සිදුවූ ලැජ්ජා සහගත හෝ දුෂ්කර අවස්ථාවක් සමඟ සම්බන්ධ විය හැකිය. අසාර්ථක වීම නිසා ඔබ වැඩකට නැති අයෙකු බව හැඟීමක් ඇති විය හැකිය. එබැවින් යමක් කිරීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටීම සමහර විට, බලාපොරොත්තු සුන්වීම, පසුතැවීම සහ දුකෙන් ආරක්ෂා වීමට මාර්ගයක් ලෙස පෙනීගිය හැකිය.

ප්‍රතිකාර

අසාර්ථක වීමේ බිය සඳහා ප්‍රතිකාර කිරීම රඳා පවතින්නේ ඔබ මෙම බිය අත්විඳින ආකාරය සහ එය ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම ඇතුළු විවිධ සාධක මත ය. බොහෝ අවස්ථාවලදී, මෙම හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට මිනිසුන්ට ස්වයං උපකාරක උපාය මාර්ග භාවිතා කළ හැකිය.

අසාර්ථකත්වය පිළිබඳ බිය ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට බාධාවක් නම්, මනෝ චිකිත්සකවරයකු සමඟ කතා කිරීම වැදගත් වේ. අසාර්ථක වීමේ බිය සඳහා විකල්ප ප්‍රතිකාර යොදාගැනීමට සිදුවිය හැකිය.

මනෝචිකිත්සාව: ඔබට අසාර්ථක වීමේ භීතියට දායක වන සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් නිවැරැදි කිරීමට උපකාරී වේ.

ඖෂධ: ඔබේ බියට සම්බන්ධ විය හැකි කාංසාව හෝ මානසික අවපීඩනය වැනි හැඟීම් කළමනාකරණය කිරීමට ඔබට උපකාර කිරීමට ඖෂධ නියම කළ හැකිය.

අසාර්ථක වීමේ බිය ජය ගනිමු

අසාර්ථකවීමේ බිය පාලනය කරගැනීමට විවිධාකාර උපාය මාර්ග යොදාගැනීමට සිදුවිය හැකිය.

යමක් කිරීමට පළමුව ප්‍රතිඵලය ගැන හොඳින් සිතා බලන්න

යම්කිසි දෙයක් කිරීමට පළමුව, එම ක්‍රියාවේදී මුහුණදීමට සිදුවිය හැකි නරකම ප්‍රතිඵලය ගැන සිතා එයට ගැලපෙන අන්දමට ඔබගේ උපාය මාර්ග සකස් කර ගැනීමෙන් එම ක්‍රියාව සිදු කිරීමට යෑමේදී ඔබට සිදුවන අපහසුතා අවම කරගැනීමට  පුළුවනි.

ඔබට පාලනය කරගත හැකි දේවල් ගැන පමණක් සිතන්න

ඔබට පාලනය කරගත නොහැකි දේවල් ගැන සිතමින් කරදර වනවාට වඩා ඔබට පාලනය කළ හැකි, ඔබේ පාලනය තුළ තිබෙන දේවල් ගැන පමණක් සිතීම වඩාත් සුදුසුයි

කලින් සැලසුම් කරන්න

ඔබ අසාර්ථක වේ යැයි බිය ඇතිවන අන්දමේ දෙයක් කිරීමට කලින් එය හොඳින් සැලසුම් කරන්න. ඊට අමතරව මූලික සැලසුම අසාර්ථක වුවහොත් ක්‍රියාත්මක කිරීම සඳහා A හා B යන විකල්ප සැලසුම් ද කලින් සකස් කර ගන්න. එමගින් ඔබට ඇතිවන පීඩනය අවම වන අතර, ආත්ම විශ්වාසයකින් යුතුව ඔබ කරන්නට යන ක්‍රියාව හොඳින් කිරීමට ද හැකිවේවි.

ධනාත්මක චින්තනය භාවිතා කරන්න

ඔබේ විශ්වාසය බිඳ දැමිය හැකි සහ කාංසාවේ හැඟීම් ඇති කළ හැකි නිෂේධාත්මක ස්වයං කතාවලින් වළකින්න. ඒ වෙනුවට, ඔබේ අභිප්‍රේරණය ඉහළ මට්ටමක තබා ගැනීමට ශුභවාදියෙකු මෙන් සිතන්න.

අසාර්ථක වීමේ බිය සෑම කෙනෙකුම කලින් කලට අත්විදීමට සිදුවියහැකි දෙයකි, නමුත් එවැනි හැඟීම් දිගින් දිගටම පවතින විට එය වඩාත් ගැටළුකාරී විය හැකිය. ස්වයං දයානුකම්පාව (self-compassion) පුහුණු කරන්න. එමෙන්ම ඔබේ විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ ඔබේ බිය කළමනාකරණය කිරීමට පියවරෙන් පියවර ඉදිරියට යන්න.

https://www.verywellmind.com/what-is-the-fear-of-failure-5176202

Disclaimer: මෙම ලිපිය ව්‍යායාම්, යෝග්‍යතාවය, මානසික සෞඛ්‍ය හෝ පෝෂණය වැනි සෞඛ්‍යයට අදාළ තොරතුරු සපයන අතර හුදෙක් අධ්‍යාපනික තොරතුරු ඔබ වෙත ලබා දීම සඳහා පමණක් අරමුණු කෙරේ. DRTVproducts (Pvt) Ltd තරයේ නිර්දේශ කරන්නේ මෙම ව්‍යායාම් වැඩසටහන හෝ වෙනත් සෞඛ්‍ය වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසයි. (විශේෂයෙන්ම ඔබ ගැබ්ගෙන ඇත්නම් හෝ ඔබට දැනටමත් සෞඛ්‍ය ගැටළු තිබේ නම්).

Distributors

Singer Sri Lanka Fitness Products
softlogic sri lanka fitness products
Dinapala Group Sri Lanka Fitness Products
abans sri lanka fitness products

Online Shopping Partners

daraz sri lanka fitness products
Abans Sri Lanka
Wasi.lk Quantum Fitness Products
Quantum Fitness Orelo
takas.lk fitness products
Odel Sports Sri Lanka Treadmills
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
ovicx products in Sri Lanka
keiser bikes in Sri Lanka
Vibration Machines